කොත්තු රොටී ආහාර සංස්කෘතිය නැති කළ යුතුයි

By : | 1 Comment | On : February 14, 2013 | Category : Articles

Sri Lanka, back to Ancient food Tradition

මුළුතැන්ගෙය හෙවත් ගැමි වහරෙන් කියැවෙන කුස්සිය නිවෙසක ප්‍රධානතම හා අත්‍යවශ්‍ය අංගයයි. අතීතයේ දී නිවෙස ආසන්නයේම වෙනමම පිහිටි මේ ඉවුම් ගෙය පසුව නිවෙසට යාබදව තනා ඊටත් පසු නිවෙස ඇතුළතම අංගයක් බවට පත්විය. නිවෙසේ වෙන කුමන අංග නොතිබුණත් බාගෙට තැනූ නිවෙසක වුව මුළුතැන්ගෙය නම් අත්හැරෙන්නේම නැත.

මෙහි එන අංග උපාංග ද කලින් කලට වෙනස් වී ඇතැම් අංග ගිලිහී තවත් අංග එක්වීමක් සිදුවිය. මුළුතැන්ගෙයක් යනු නිවෙසක හුදෙක් අංගෝපාංගයක් පමණක් නොවේ. නිවෙසේ සාමාජිකයන්ගේ පෝෂණ අවශ්‍යතා පිරිමැහෙන ස්ථානයයි. පෝෂණ අවශ්‍යතාව පමණක් නොව ගෙදර සාමාජිකයන් එකට එක්වන ගෙදර දියණියට ඉවුම් පිහුම් ගැන අත්පොත් තබන ස්ථානය ද මෙතැනයි. එනිසාම නිවෙසක මුළුතැන්ගෙයට අත්වන්නේ විශේෂ ස්ථානයකි.

ඒ මුළුතැන්ගෙයෙහි අද සිදුවී ඇති වෙනස්කම් හා ඒ නිසා පෝෂණයේ සිදුව ඇති අඩුපාඩු ගැන කතාබහට එක්වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මියයි.

“කුස්සිය කියන වචනය කිව්වහම අපට මතක් වෙන්නේ ගම්බද පිටිසර ගෙදරක් දුමක්. අටුවක් සහිතව හොඳට අතුගාපු කුඩා මුළුතැන්ගෙයක්. මෙහි එළිපත්තේ කොළපතක තැබූ වතුර කළගෙඩියක්, අතුල්පතකින් වහපු මිරිස් ගලක් වංගෙඩියක් මෝල්ගහක් තියෙනවා. ‘කිචන්’ කිව්වම අපේ සිතට එන්නේ ඊට වඩා වෙනස් හැඟීමක්. එහි පැන්ට්‍රි කබඩ්, විද්යුත් උපකරණ, ජල කරාම පිඟන් ගඩොල් අල්ලලා දිලිසෙමින් තියෙනවා.

එදා තිබුණු ගම්බද කුස්සිය ඒ මිදුල ඒ පරිසරය දැන් අපෙන් ගොඩක් ඈත්වෙලා. ඒ කුස්සිය ගම්බදට පමණක් සීමාවෙලා. නාගරීකරණය නිසා ඒ සියලු දේ වෙනස් වෙලා. ඉස්සර කාන්තාවන්ට ගම්බද කුස්සිය පිළිවෙළට පිරිසුදුව තබාගන්න පුළුවන්කම තිබුණා. ඇයට තිබුණේ ගෘහය සංවිධානය කිරීම පමණයි. දැන් කාන්තාවට මුළු පවුලම සංවිධානය කරන්න වෙලා. ඇය රැකියාවට යන්න ඕනැ. දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා හොයා බලන්න ඕනැ. විභාග ගැන මහන්සි වෙන්න ඕනැ. ඉස්සර එහෙම නැහැ. ඇළෙන් දොළෙන් ගොඩවී ඇවිත් ගෙදර වැඩ කටයුතු බලාගෙන ඉන්නැයි ඒ ගෘහණියට තිබුණේ. දැන් එහෙම බෑ.

ඒ නිසා දැන් ගෘහණිය කුස්සිය ලෙහෙසි කරගන්න අලුත් පහසුකම්වලට නැඹුරු වෙනවා. පිටරටින් අනුකරණ එනවා. විද්යුත් උපකරණ, පිඟන් ගඩොල්, පැන්ටි‍්‍ර කබඩ්, ජල කරාම සහිත මුළුතැන්ගෙවල් බිහි වෙනවා. සමහර කාන්තාවන්ට ලජ්ජයි පරණ කුස්සිය තියාගන්න. තමන්ගේ යාළුවන්ට පේනවට කැමැති නැහැ. ඒ නිසා ඇය උත්සාහ කරන්නේ ජනපි‍්‍රය මුළුතැන්ගෙයක් හදා ගන්නයි. එහි වරදක් නැහැ.

මෙවැනි දේවල වෙනසක් දකින්න නම් ආකල්ප වෙනස්වීමක් ඇතිවෙන්න ඕනැ. විශාල දැනුම් සම්භාරයක් සමඟ මේ අනුකරණය කිරීම හා ඇබ්බැහි වීම නවත්වන්න ඕනැ.

ඇබ්බැහි වීමට හේතුව තමයි වඩාත් සාර්ථකව, පෝෂණය රැකෙන ලෙස පිරිමැස්මට ගෙදර ආහාර අවශ්‍යතාව සපයා ගන්නවාට වඩා බඩ පිරෙන දෙයක් හදනවනම් එච්චරයි යන මතයේ සිටීම.

හවස වැඩ ඇරී යන ගමන් ආප්ප ටිකක් කොත්තු රොටියක් කඩෙන් අරන් යනවා. මෙතනින් සිදුවන විනාශය ගැන හිතන්නේ නැහැ. මේ සියල්ල බැඳී පවතින්නේ අපේ මුළුතැන්ගෙය සමඟයි. ලස්සනට මුළුතැන්ගේ තිබුණට ඇය කන්නේ කඩෙන්. කඩෙන් ගෙනියන දෙයෙහි තියෙන්නේ මොනවා ද? එළවළු මස් මාළු පිරිසුදු ද? ඒ ගැන ඇය හිතන්නේ නැහැ. අපේ රටේ දැන් බොහෝ පැතිරී ඇති මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ.

කුස්සිය හරහා එන මේ අලුත් ආහාර සංස්කෘතියේ විපාක බොහොමයි. ඉස්සර අපේ අයට ලෙඩ රෝග අඩුයි. දැන් අයට ප්‍රෙෂර්, දියවැඩියාව, කොලස්ටරෝල් මේ සියල්ලටම හේතුව ආහාර රටාව. ඉස්සර සෙනඟ හොඳට කය වෙහෙසලා වැඩ කළා. කෘත්‍රිම දේ ආහාරයට එක් කළේ නෑ.

ඉස්සර වත්තේ වැවෙන කොස් ටික අවාරෙදි ගන්න මිදුලේ පැදුරක වට්ටියක දමලා වේලුවා. කල්තබා ගන්න ද්‍රව්‍ය මේවායේ නැහැ. ඉස්සර ගෙදරක අටුවක් දුමක් තිබුණා. බොහෝ ආහාර ද්‍රව්‍ය කල්තබා ගන්න අටුවේ දමා දුමේ දමා වේලා ගත්තා. ඒවාට කෘමීන් ආවේ නැහැ. දැන් කෘමීන් ආවොත් බේත් ගහනවා. ඉස්සරටයි අදටයි වඩා හැමදේම වෙනසක් තියෙනවා. එදා බවභෝගවල වැඩි කොටස විවිධ ක්‍රමවලින් කල්තබා ගත්තා. අද එහෙම නැහැ. අද තියෙන්නේ එදිනෙදා යැපීමට අවශ්‍ය දේ පමණයි. එදා කල්තබා ගත් ආහාර ද්‍රව්‍ය හිඟ කාලෙට අගේට පිරිමසා ගත්තා. අද මුළුතැන්ගෙයින් දුම් අටුව ඉවත්ව ඇතුවා සේම අරපිරිමැස්මට තබාගත් ආහාර බවභෝගත් දකින්නට නැහැ.

ඉස්සර නිවෙසක ලුණු පොල්කටුව නිවෙසක මුළුතැන්ගෙයි ඉතා වැදගත් තැනක් ගත්තා. පොල්කටුවේ මදක් ලොකුවට ඇති පිරිමි බෑගය ලුණු පොල්කට්ට ලෙස ගත්තා. එයට ලුණු කැට දමා වතුර දමා පාවිච්චි කළා. එය තබා තිබුණේ ළිප ළඟ. ඒ වටේට ලුණු බැඳිලා. අද බොහෝ ගෙවල්වල ලුණු පොල්කටුව නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේස ලුණු. ලුණු වතුර දැමූ වීදුරු බෝතලයක්. ඉස්සර වෑංජනයට දැම්මේ ලුණු වතුර. දැන් ලුණු කුඩු. වංගෙඩි මෝල්ගස් මිරිස් ගල දැන් ඇතැම් මුළුතැන්ගෙවල්වල නැති තරම්. ගෘහණියට ඒවා සමඟ හැප්පෙන්න වෙලාවක් නැහැ.

ආහාර වේලට මැල්ලුමක් අවශ්‍ය වුණොත් එළියට බැස්සාම කඩාගන්න වත්ත වටේට වර්ග කීපයක පළා තියෙනවා. සමහර ඒවා වැටට හිටවලා. අඩුම වශයෙන් පළා වර්ග දෙකක් තුනක්වත් වත්ත වටේ තියෙනවා. එදා ගෘහණිය වෙළෙඳ පොළෙන් පළා මිලට ගත්තේ නැහැ. වෙළෙඳ පොළෙන් ගන්න පළාවල තියෙන පිරිසුදුකම ගැන හිතන්නෙ කීයෙන් කී දෙනා ද? ඒවා අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් ද?

කුරුම්බා පොල් තමයි එදා පොල් සම්බෝලයට රොටියට එක්කර ගත්තේ. පැසුණු පොල්වල මේදය වැඩියි. ඉස්සර මිනිස්සු ඉබේම මේවාට හුරුවෙලා හිටියා. සැම වත්තකම ඒ කාලෙ දෙහි ගහක් තිබුණා. දෙහි වාරෙට ගෘහණිය අනිවාර්යෙන්ම ලුණු දෙහි දානවා. කල්තබා ගන්න වැලි මුට්ටියට දමනවා. අද සමහරු දෙහි වේලන්නේ සීනි දාලා. දෙහි වේලන්න සීනි ඕනැ නැහැ. දැන් ක්ෂණික ක්‍රම තියෙනවා. ඉස්සර දෙහි වේලුවේ හතරට පළලා ලුණු දාලා කොළ පොතක දමා අව්වේ තියලයි. කාර්යබහුල දැන් ගෘහණිය එක දවසෙන් ලුණු දෙහි හදන ක්‍රම දන්නවා.

Sri Lanka, back to Ancient food Tradition

Sri Lanka, back to Ancient food Tradition

ඒ ලෙස ඉස්සර අපේ අය ඉතාමත් ස්වභාවිකව පරිසරය හා සමඟ අනුබද්ධව ජීවත්වුණා. එදා අප ගත් ස්වාභාවික ආහාර වර්තමානයේත් ස්වභාවිකව සකස් කරගන්න පියවර ගත යුතුයි. අපට නැත්තේත් එයයි. අපි බලන්නේ කොත්තු රොටියක් ආප්පයක් පරාටියක් කාලා එදා වේල පිරිමසා ගන්නයි. ඊළඟ දවසේ තමයි ඊළඟ වේල ගැන හිතන්නේ. මෙය අපෙන් ඉවත්විය යුතුයි.

අපි ඉස්සර අයගෙන් ගත යුතු පාඩම් රැසක් තියෙනවා. විසබීජ නැතිව කන්න හුරු විය යුතුයි. දරුවන් වැඩෙද්දී රෝගීන් බවට පත්නොකර මුල සිටම නිරෝගී දරුවකු බවට පත් කිරීමට කටයුතු කරන්න ඕනැ. ගෙදර තාත්තාට ප්‍රෙෂර් නම් තාත්තාට ලුණු නොදා උයා අනිත් අයට ලුණු දානවා. එහෙම හොඳ නැහැ. හොඳ නැති දේ කාටවත්ම හොඳ නෑ. මේ හැම දෙයක්ම මද පමණින් ගැනීම පවුලේ සෞඛ්‍යයට හොඳයි.

ගෙදර පහේ ටික ඉස්සර අය ගෙදරම හදාගත්තා. ගෙදරක පහේ කුඩු හදද්දී ඒ කාලෙ මුළු පළාතම සුවඳයි. පහේ වෙන වෙනම සෝදා වේලලා කුඩු කරලා පහේ කුඩු හදා ගත්තා. ඒත් දැන් ගෘහණිය පහේ කුඩු ගන්නේ කඩෙන්. පහේ කුඩුවලට පිදුරු කුඩු කර මිශ්‍ර කර තිබුණා යැයි පසුගිය දිනවල ප්‍රවෘත්තියක් තිබුණා.

වෙළෙන්දා ව්‍යාපාරිකයා දැනගන්න ඕනැ දෙවියනේ මේක දෙන්නෙ මිනිසුන්ට කන්න. අපේ රටේ මිනිස්සුන්ට ඒ නිසා මේක හොඳට පිරිසුදුවට හොර බොරු නොකර දෙන්න ඕනැ කියා නිෂ්පාදකයා සිතිය යුතුයි. එතැන යහපත් වෙළෙඳාමක් තියෙන්න ඕනැ. කහවල තියෙන්නේ මොනවා ද සැබෑ කහ කුඩු ද නැත්නම් ඩයි මිශ්‍ර කහ කුඩු ද කියා සැකයක් ඇතිවෙනවා. පහේ කුඩු ටිකක් ගෙදර හදාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඇයි ගෘහණියට ඒ සඳහා පැයක් වැය කරලා ගෙදර අයගේ සෞඛ්‍ය රැකගන්න බැරි.

මමනම් කියන්නේ ඒවා අපම කරගන්න ඕනැ. ඉස්සර වගේ වංගෙඩියේ දමා කොටන්න ඕනැ නැහැ. දැන් සෑම ගෙදරකම බ්ලෙන්ඩර් තියෙනවා. මෙය ඉතා සුළු දෙයක්. ඇයි එහෙම කරන්න බැරි. අපි කන දේ ඇයි අපට හදාගන්න බැරි. අපි සාමාන්‍යයෙන් බිම වැටුණු දෙයක් කන්න කැමැති නැහැ. ඒත් අර වගේ වෙළෙඳ පොළේ තියෙන නිෂ්පාදන ගෙනත් කනවා. වෙනස ඒවා නිෂ්පාදනය කරනවා ඇහැට නොපෙනෙන එක විතරයි.

ආහාරවලට එදා අපි ගරු කළා. වී ඇටයක්වත් ඉස්සර ඉවත දැම්මේ නෑ. ළිපේ තියන්න ගන්න සහල් ටිකේ වී ටික අහුලලා එකතු කළා. ඒ එකතු වෙච්ච වී ඇට ටික තලාගෙන ඊළඟට සහල්වලට එකතු කරගත්තා. දැන් එහෙම නෙවෙයි වී විතරක් නෙවෙයි සහල් ටිකක් බිමට වැටුණත් අතුගාලා දානවා. මේ ඉවත දමන්නේ සහල් ටික පමණක් නොවෙයි තමන්ගේ සල්ලි කියා හිතන්නෙ නැහැ. අමාරුවෙන් රැයක් දවාලක් නොබලා හම්බ කරන සල්ලි තමයි මේ ඉවත දාන්නේ. මේවා අපට ඉස්සර සිට ආ ගුණධර්ම. අද කුස්සියත් එක්කම ඒවත් ගිලිහිලා.

ඉස්සර බත් කන්නට ඉස්සෙල්ලා බත් අනලා සතුන්ට ගුලියක් වෙන් කළා. දැන් එහෙම නෑ. කාලා ඉතිරි ටික ඩස්ෆින් එකට දානව අඩු ගාණේ සතෙකුට කන්නවත් නෑ. ආදරය, කරුණාවත් මුළුතැන්ගෙයින් ගිලිහිලා. ඒ විතරක් නෙවෙයි පවුලේ එකමුතුකම. ඉස්සර මුළුතැන්ගෙය හරහා පවුලේ එකමුතුකම ගොඩ නැඟුණා.

අද කතාබහ
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී
කුමුදුනී ගුණසේකර
ලිව්වේ – සේමාලි කැල්ලපත

From : http://www.silumina.lk/2013/02/10/_art.asp?fn=as1302103

  1. posted by Dewa Pralitha Dharmawickrama on February 21, 2013

    yes true

      Reply

Post A Comment

Comments